Saturday, January 23, 2010

සියළු දෙනාම ජයග්‍රහණය කරන ජනාධිපතිවරණයක්

සියළු දෙනාම ජයග්‍රහණය කරන ජනාධිපතිවරණයක්!

සෝමවංශ අමරසිංහ මහතා වේදිකාවල රගමින් "සොයාපු දේ හම්භ උනා කාලෙ හොදා" යයි උදාන ගීතය ගයමින් ඔහුගේ හා ඔහුගේ අතවැසි ගෝල බාලයන් ලබපු ජයග්‍රහණය සම්බන්ධව මෙනෙහි කරමින් සිටින යුගයක් අප පසුකරමින් සිටිමු. ඒ සමගම 1988-1989 වකවානුවේදී අතුරුදන්වූ තම දරුවන් සොයා දෙන ලෙස ඉල්ලා, ඔවුනගේ ඡායාරූප අතැතිව එම දරුවන්ගේ දෙමව්පියෝ පාරක් පාරක් ගානේ ගමන් කරයි. සෝමවංශ මහතාට හම්භ වී ඇත්තේ එම දූ දරුවන් නම් නොවේ.
කොහොම හරි ඔවුනට සොයාපු දේ සම්භ වී ඇත. එය ඔහු ලැබුවාවූ අති විශිෂඨ ජයග්‍රහණයකි. මින් ඉදිරියට සෝමවංශ අමරසිංහ, විජිත හේරත්, අනුර කුමාර දිසානායක, සුනිල් හදුනෙත්ති යන මහත්වරුන්ට ධනපති ක්‍රමය තුල යහතින් ජීවත්වීමට ඇවැසි හැම දෙයක්ම හම්බ වී ඇත. එය මේ ජනාධිපතිවරණයේදී මේ වනවිටත් ඔවුන් ලබා ඇති ජීවන ජයග්‍රහණයකි. ඔවුනගේ මනස මේ වනවිටත් ඔවුන් කල කාර්යය භාරය සම්බන්ධව තෘප්තිමත් භාවයකට පත්ව නැත. ඊට හේතුව වන්නේ ඔවුන් මේ සියල්ලම ලබාගත්තේ 1965 සිට මේ දක්වා එම පෙරමුණ ගොඩනැංවීමට දායක වූවන්ගේ ශ්‍රමය හා ඇස් ඉස් මස් ලේ අධිරාජ්‍යවාදීන්ට විකුණීම හේතුවෙනි. නමුත් ඔවුන් බාහිරින් ජයග්‍රාහින් වී ඇත. ඒ අනුව නව ජනතා විමුක්ති පෙරමුහි නායකත්වය විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ඇත.

සරත් ෆොන්සේකා මහතා සිය ජීවිත කාලය තුලදීම ලබාගත් ඉතාම ලාභදායී කොන්ත්‍රාත්තුව නිමකර ඇත. ඒ හරහා මුදල නම්වූ කඩදාසි කැබැල්ල මත සියල්ල තීරණය කරන අති බහුතරයක් සිටින සමාජයක සරත් ෆොන්සේකා මහතාද විශාල ජයග්‍රහණයක් අත්පත් කරගෙන සිටී.
ඒ සදහා ඔහුට විශාල කැපකිරීම් රාශියක් කිරීමට සිදුවිය. සමාජමය වශයෙන් ඉතා අපහසුවෙන් කාලාන්තරයක් මුලුල්ලේ ඔහු අත්පත් කරගෙන තිබුණ සමාජ ගෞරවය, ජනමනස තුල කිදා බැස තිබූ වීරත්වය අලෙවි කිරීමට සිදුවිය. එපමණක්ද නොව, සරත් ෆොන්සේකා නම් වූ චරිතය තුල වූ පෞද්ගලිකත්වය සමාජගත කිරීම හරහා ඔහුගේ ප්‍රතිරූපය විනාශ කර ගන්නටද ඔහුට සිදුවිය. නමුත් ඒ සදහා ඔහුට ලැබුණ ප්‍රතිපල අති විශිෂ්ඨ බැවින්, ඒ මහතාද මේ වනවිට ජයග්‍රාහකයකු වී හමාරය.

මෙම අති මහත් මුදල් කන්දරාව එහා මෙහා ගෙනයාමේ කාර්යය හා සරත් ෆොන්සේකා මහතාගේ මැතිවරණ කාර්යන්ට සම්බන්ධ වීම හරහා එක්සත් ජාතික පක්ෂයහි නායකත්වයද අත්පත් කරගෙන ඇති ආර්ථික ජයග්‍රහණයද විශාලය.

දැන් ජයග්‍රහණය ලැබීමට ඉතිරිව ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා හා ශ්‍රී ලංකා වාසී ජනතාවය. ඒ සදහා මෙරට ජනතාව ජනවාරි මස 26 වෙනිදා චන්ද පොලට ගොස් බුලත් කොළය ඉදිරියෙන් කතිරය ගසා මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති බවට පත්කල යුතුය. එම ක්‍රියාමාර්ගය තුලින් මේ රටේ සියලූම ජනතාව ජයග්‍රහණය කරනු ලබන අතර එම ජයග්‍රහකයින් අතරට මහින්ද රාජපක්ෂ මහතාට විරුද්ධව චන්දය ප්‍රකාශ කරනු ලබන චන්ද දායකයින්ද ඇතුලත්වේ. මේ රටේ සැබෑ දේශද්‍රෝහීනගේ සංඛ්‍යාත්මක අගය කවරේදැයි අප දෑස දල්වා බලා සිටිමු. ඔබ සැමට "ශුභ අනාගතයක්"

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි






Thursday, January 21, 2010

ශ්‍රී ලංකාවේ අගනුවර ත්‍රිකුණාමලය බවට පත්කර ගනිමු.

විධායක ජනාධිපතිකම අහෝසි කිරීම නොව;
ශ්‍රී ලංකාවේ අගනුවර ත්‍රිකුණාමලය බවට පත්කර ගනිමු.

රට කඩඉමක් පසුකර ඇත. ඒ සමගම වසර ගනනාවක් මේ මහ පොලොවේ ආධිපත්‍යය තමනට රිසිසේ හැසිරවීම Risk හෝ Monopoly නම්වූ ක්‍රීඩාවන් බවට පත්කරගෙන සිටින අල්පයක් වූ අති සුපිරි ප්‍රජාව, මහත් කම්පනයකට භාජනය වී සිටී.
ආසියාව පාලනය කිරීම නම් වූ ඔවුනගේ ඩොලර් බිලියන ගනනක ව්‍යාපෘතියේ එක් අංගයක්වූ කොටි ත්‍රස්තවාදයයේ, කුලී හමුදාවේ විනාශය; දෙවන වන්නේ වියට්නාමයේ ඔවුනගේ කුලී හමුදාව ලත් අති මහත් පරාජයටයි.
මහා මුහුදේ පාවෙන මාලිගා වලට වී ලොව පුරා සැරි සරමින් කමින් බොමින් නටමින් ලෝක සිතියම ක්‍රීඩා භාණ්ඩයක් බවට පත්කරගෙන; තමනට රිසිසේ ඒ ඒ රාජ්‍යයන්හි පාලකයින් මඩවමින් පෙලමින් මරවමින් මහත්වූ වින්දනයක් ලබමින් ගත කල ඔවුනගේ ඒ ජීවිතයට තාවකාලිකව තිතක් තැබීමට මේ කුඩා රාජ්‍යය හා එහි වර්තමාන පාලකයා වූ මහින්ද රාජපක්ෂ මහතාට හැකිවීම ඔවුනට ඇදහිය නොහැකි අරුමයකි.
අප නොදකින මේ පරපුර; අප දකින එරික් සෝල්හයිම්ලා ප්‍රමුඛ බටහිර ඒජන්තයින්ගේ හාම්පුතුන් බව හදුනාගන්න. වසර 30ක කාලයක් පුරා මෙරට වාසීන්ව දවමින් ප්‍රීතිවූ ඔවුන් කරා දිට්ඨධම්ම වේදණීය කර්මය අවතීර්ණය වී ඔවුනව පෙලමින් සිටී. මේ හේතුවෙන් ඔවුන් ඉදිරියට එන එරික් සෝල්හයිම්ලා ප්‍රමුඛ බටහිර ඒජන්තලා; හිට්ලර් ඉදිරියට එන පරාජිත යුධ සෙනෙවියකුගේ තත්වයට පත්ව ඇත. භාෂාවේ ඇති අති පහත් වචන වලින් සංග්‍රහයන් බුක්ති විදීමට අමතරව මෙතෙක් කල් ඔවුන් විදි අති සුඛෝපභෝගී තත්වයන් අවම කිරීමකටද භාජනය වීමට සිදුව තිබේ.
මේ තත්වයන් ඔවුනට උරුම කරන ලද්දේ, ශ්‍රී ලාංකීය දේශප්‍රේමී ජනතාව, පංච මහා හමුදාවෝ, ආරක්ෂක ලේඛම්තුමා හා අතිගරු ජනාධිපතිතුමාය.
එරික් සෝල්හයිම්ලා ප්‍රමුඛ බටහිර ඒජන්තයින්, ඔවුනගේ සමාජය තුල අගරු නිගරු වී ඇතිවා සේම, ඔවුනගේ හාම්පුතාලාද ඔවුනට උරුම අති සුපිරි සමාජය තුල මහත් අවමානයකට භාජනව ඇත.
පලමුව ආසියාතිකයින් නිසා තමනට වු අවමානය; අභිමානයක් බවට පත්කර ගත යුතුය. ඒ සදහා දිගු කාලීන ව්‍යාපාතියක් හා කෙටි කාලීන ව්‍යාපාතියක් වහාම ක්‍රියාත්මක කිරීම ආරම්භ කර ඇත. දිගු කාලීන ව්‍යාපෘතිය වශයෙන් තරමක් පැරණි Global warming නමින් වූ ව්‍යාපෘතියට නව පනක් ලබාදී මුදාහල අතර, පරාජය වූ කොටි පෙරමුණට ජීවය ලබාදීම කෙටිකාලීන ව්‍යාපෘතිය වශයෙන් එලි දක්වන ලදී.
Global warming
මෙම ව්‍යාපෘතිය මගින් ඉහත සදහන් ප්‍රජාව දකුණු ආසියාවට විශාල බලපෑමක් කිරීමට බලාපොරොත්තු වන අතර; මෙම විෂය සම්බන්ධව කථා කිරීමට විශාල විෂය පථයක් ඇති බැවින් ඒ සම්බන්ධව ගැඹුරින් කථා නොකොට සරල ලෙස මෙය මිත්‍යාවක් බවත් මෙය පාරිසරික ත්‍රස්තවාදය නමින් නම් කලයුතු බව සදහන් කරමින් අවසන් කරමි.

කෙටි කාලීන ව්‍යාපෘතිය පණ ගැන්වීම සදහා පැරණි බටහිර ඒජන්තයින්ට අමතරව අලුත් ඒජන්තයින් ගනනාවක්ද සටන් පෙරමුණට එවා ඇත. සුදු ඒජන්තයින් උපදෙස් දෙමින් මුදල් විසි කරමින් පරිසරය සරත් ෆොන්සේකා මහතා උදෙසා සකස් කිරීමට වෙහෙසෙ‍මින් සිටී. මෙම කටයුත්තට ඔවුන් අත ගැසුවේ එය ඔවුනගේ ව්‍යාපෘතියේ එක් අංගයක් නිසා නම් නොවේ. තමන්ගේ හාම්පුතුන් ඔවුන් දුටුවිට මුදා හරින කුණු හරුප කන්දරාව, ඔවුනට තව යමක් කිරීමට බලකරන නිසාය.
අසංවිධානාත්මක මෙම ක්‍රියාවලිය හේතුවෙන් එදා කොටි සංවිධානය සමග අත්වැල් බැද‍ගෙන සිටි සියලුම කණ්ඩායම් මෙරට ජනතාවට නිරාවරණය විය. චීනයේ ගුරුවරයා හා අසහාය නායකයා වූ මාවෝ සේතුං සහෝදරයා එදා උස් හඩින් ප්‍රකාශ කල "අධිරාජ්‍යවාදය යනු කඩදාසි කොටියෙකි" යන්නෙහි අන්තර් ගතව ඇති "කඩදාසි කොටියා" අන්කවරෙකුවත් නොව මෙම පාවෙන මාලිගා වල සිට ලෝකය හසුරුවන එරික් සෝල්හයිම්ලාගේ හාම්පුතුන්වේ. තවද සැබෑ කොටි සංවිධානය යනු මෙම අති සුපිරි බලවතුන් කණ්ඩායම වන අතර; මෙය "කඩදාසි කොටි සංවිධානය" බවට ලෝකයා ඉදිරියේ නැවත වරක් නිරාවරණය කර පෙන්වනු ලැබුයේ අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාය.
මෙම කඩදාසි කොටි සංවිධානයට, ඉදිරියේදී එයට සැබෑ ලෙසම උරුම නම වූ " කඩදාසි කොටි සංවිධානය" ‍(Paper Tiger Organization) ලෙස සමාජගත කිරීම හරහා, අප වැදගත් කරුණු දෙකක් ඉටු කරන්නෙමු.
1. එදා මෙම සංවිධානයේ සැබෑ ස්වරූපය ලොවට හඩගා කී ශ්‍රෙෂ්ඨ මාවෝ සේතුං සහෝදරයාට ඒ හරහා ගෞරවයක් පිරිනැමීම.

2. ජාත්‍යන්තර වශයෙන් අවමානයකට ලක්වීම හරහා ඔවුන්ගේ මානසිකත්වය බිද වට්ටා දැමීම.

අප ඓතිහාසිකව අගනුවර අනුරාධපුරය වශයෙන් පවත්වාගෙන ගිය අතර අද කොළඹ දක්වා පසුබැස ඇත. මෙම ජයග්‍රහණයෙන් පසුවත් අපේ අගනුවර කොළඹ වශයෙන්ම පවත්වා ගෙන යන්නේ නම් අපට කුමක් හෝ වැරදී ඇත. එදා දුටු ගැමුණු නිරිදා තම උපන් රාජධානිය වූ මාගම වෙනුවට නැවත අනුරාධපුර රාජධානිය අගනුවර කර ගැනීම හරහා මුලු රටම මධ්‍යගත පාලනයකට නතු කර ගැනීමට ඉතා පහසු විය.

මහා නගර නිර්මාණ ශිල්පීන් කණඩායමක් කැදවා ත්‍රිකුණාමලය ශ්‍රී ලංකාවේ අගනුවර කරවන මහා නගර නිර්මාණ ක්‍රියාවලියක් ආරම්භ කල යුතුය. මහා වාණිජ අගනුවර 1 හම්බන්තොට බවට පත්කොට, වාණිජ අගනුවර 2. කොළඹ නගරය බවට පත්විය යුතු අතර; තම්බපන්නියද මහා පරිපූර්ණ නගරයක් බවට පත්කල යුතුය.
මෙම ක්‍රියාවලිය අඩුතරමින් සාකච්ඡාවට ගැනීමටවත් හැක්කේ වර්තමාන ජනාධිපතිතුමාටය. එබැවින් පලමුව ජනාධිපතිතුමා, ජනාධිපති කරවමු. කඩදාසි කොටි සංවිධානයේ සිහින අගනුවර අපේ
අගනුවර කරවමු. "ශුභ අනාගතයක්!"

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි.